හරියට සෙල්ෆියක් ගහන්නේ මෙහෙමයි

හොඳ සෙල්ෆි ඡායාරූපයක්

අද වනවිට ජංගම දුරකථනය දුරකථන ඇමැතුම් ලබාගැනීමේ උපාංගයකට වඩා සෙල්ෆි ඡායාරූප ලබාගැනීමේ මාධ්‍යයක් වී තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ ජනප්‍රියත්වයේ හිණිපෙත්තට ළඟාවූ සමාජ ජාලා වබේ අඩවි මේ සඳහා මූලික හේතුවක් ලෙස සඳහන් කරන්න පුළුවන්. මේ ලිපිය වෙන්වන්නේ DSLR කැමරාවක් හෝ විවිධ ඇප්ලිකේෂන් භාවිතයෙන් තොරව අපූරු සෙල්ෆි ඡායාරූපයක් ලබාගන්නේ කෙසේද යන්න හඳුන්වා දීමටයි.

ආලෝක තත්ත්වය
අප භාවිත කරන ජංගම දුරකථන කැමරා අද වනවිට තාක්ෂණිකව ඉතාමත් ඉහළ ස්ථානයක ඇති බැවින් අප පළමුව කළ යුත්තේ ඡායාරූපයකට අදාළ වන වස්තුව එනම් මුහුණ නිසි ආකාරයට ආලෝකයට නිරාවරණය කිරීමයි. දීප්තිමත් ආලෝක පසුබිම් මගහැරීම, දැඩි හිරු රශ්මියේ ඡායාරූප ලබානොගැනීම, ඉර පෑයීමෙන් පැයක් අනතුරුව හෝ ඉර බැසීමට පැයකට පෙර ඡායාරූප ලබාගැනීම, රාත්‍රී කාලයක ලබාගන්නේ නම් මෘදු ආලෝකයක් තෝරාගැනීම මගින් ඔබට කිසිදු ඇප්ලිකේෂන් එකක් භාවිතයෙන් තොරව වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිවෙනවා.

මුහුණ ස්ථානගත කිරීම
ඡායාරූපය නරඹන්නා වෙත බාධකවලින් තොරව සහ නරඹන්නාගේ ඇස ඉක්මනින් ඡායාරූපය වෙත ලබාගැනීම සඳහා බෙහෙවින් වැදගත් වෙනවා. ඒ සඳහා ජංගම දුරකථන තිරය අප වෙත ලබාදෙන (Grid) ‘උපකාරක කොටු දැල’ ඉතාමත් ප්‍රයෝජනවත් වන අතර එහි සිරස් හා තිරස් රේඛා ජේදනය වන ස්ථාන වෙත මුහුණ ස්ථානගත කිරීමෙන් වඩාත් ගුණාත්මක ඡායාරූපයක් වෙත යෑමේ හැකියාව ලැබෙනවා.

ඉරියව්
ඡායාරූපයකට මුහුණ දෙන අවස්ථාවේ ඔබ විසින් එයට එක්කරන ඉරියව් මත ඔබගේ පෞරුෂය මෙන්ම ඡායාරූපයේ සුන්දරත්වය ඉහළ දැමීමට හේතුවෙනවා. එමෙන්ම (Zooming) විශාලනය වැනි උපක්‍රමවලින් වැළකී සිටීමද වැදගත් වෙනවා. ජංගම දුරකථනයකින් ඡායාරූපයක් ලබාගන්නේ නම් වඩාත් උචිත වන්නේ පසුව Crop කිරීමය. නැතිනම් ඡායාරූපයේ ගුණාත්මක බව අඩුවීමේ හැකියාවක් පවතිනවා.

ඡායාරූපයේ ප්‍රමාණය
ඡායාරූපයේ ප්‍රමාණය ඔබ එය පළ කිරීමට අදහස් කරන ස්ථානය අනුව වෙනස් වෙනවා. නමුත් ඔබ සෑමවිටම කැමරාවේ මෙනුවෙහි (Menu) ඇති Resolution අගය ඉහළ ආකාරය තෝරා ගන්නවා නම් අපට අවශ්‍ය පරිමාණයන්ට ඡායාරූපය සකසා ගැනීමේ පහසුව හිමිවෙනවා. සෙල්ෆි ඡායාරූපයන් සඳහා 4:3 ප්‍රමාණය උචිත වන අතර එමගින් බාහිර බාධක මගහැරීමට මෙන්ම වඩාත් පැහැදිලි ඡායාරූපයක් ලබාගැනීමටද හැකිවෙනවා.

බොත්තම් සහ අංගචලන
ජංගම දුරකථන කැමරාව මගින් පහසු සෙල්ෆි ඡායාරූප ලබාගැනීම සදහා විවිධාංග හඳුන්වා දී තිබෙනවා. ඒ මගින් වඩාත් පහසුවෙන් ඡායාරූප ලබාගැනීමේ පහසුව ලැබෙනවා. තවද බහුගුණාකාර රාමු (Countious Frames) වෙත යොමුවීම මගින් නොසෙල්වුණු ඡායාරූපයක් ඡායාරූප ගොනුවක් අතරින් තෝරා ගැනීමේ පහසුවද හිමිවෙනවා.
තවද Self timer, අත් චලන, සිනාව සහ ජංගම දුරකථනය ලබාදෙන විධානයන් ක්‍රියාත්මක කිරීම මගින් සෙල්ෆි ඡායාරූපය වඩාත් ගුණාත්මකව ලබාගැනීමේ පහසුව ලැබෙනවා.

සෙල්ෆි ස්ටික් භාවිතය
සෙල්ෆි ස්ටික් අද වනවිට ජංගම දුරකථන සමග ඉතාමත් ජනප්‍රිය ලෙස භාවිත වන උපාංගයක් වන අතර එමගින් විවිධ වූ ඇසට නිරන්තරයෙන් හසු නොවන නිර්මාණශීලීත්වයක් ඡායාරූපයකට ලබාදීමේ හැකියාව මෙන්ම සමූහ ඡායාරූපයන් ලබාගැනීමේදී සියලු දෙනා අන්තර්ගත වන ආකාරයෙන් ඡායාරූපය ලබාගැනීමේ හැකියාවද ඇතිවෙනවා.
ඉතින් මෙවැනි සරල පියවර අනුගමනය කිරීමෙන් ඔබගේ මතකයන් අපූරු ලෙස සමාජ ජාලා පිටු අතර රඳවන්නට ඔබට අවස්ථාව ලැබෙනවා.

මයන්ත පෙරේරා

© Copyright (2012) * Lanka Hot News* All Rights Reserved.