නොවැම්බර් මාසය රටට - ඔබට කොහොමද?


දින දෙකහමාරෙන් දෙකහමාරට එක්‌ එක්‌ රාශිය පසුකරන සඳු හෙවත් චන්ද්‍රයා, නොවැම්බර් මස ආරම්භයේ දීම මීනයට පිවිසෙමින්, මාසය අගදී මේෂයට පැමිණේ. සඳුගේ ගමනට අමතරව ග්‍රහමාරු හයක්‌ මෙම මාසය තුළ සිදුවීමට නියමිතය. ඒවා මෙසේය.

බුධ ග්‍රහයා නොවැම්බර් 02 වැනිදා වෘශ්චිකයට පිවිසෙන අතර නැවතත් 24 වැනිදා ගුරුට අයත් ධනුවට ඇතුළු වෙයි. ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයා 03 වැනිදා (හෙට) තම ස්‌වක්‌ෂේත්‍ර හා මූල ත්‍රිකෝණ රාශිය වන තුලාවට පැමිණ නැවතත් 26 වැනිදා කුජට අයත් වෘශ්චිකයට ඇතුළු වෙයි.

ග්‍රහලොව රජු වන රවි ග්‍රහයා තුලා රාශියේ සිට 16 වැනිදා වෘශ්චිකයට පිවිසෙන අතර අඟහරු හෙවත් කුජ ග්‍රහයා 30 වැනිදා සිකුරුට අයත් තුලාවට පැමිණෙමින් නොවැම්බර් ග්‍රහ ගෝචරය සම්පූර්ණ කරනු ඇත. මෙම ග්‍රහ චලිතයන්ට අනුව මෙම මාසය ඔබට කෙසේ වේදැයි දැන් විමසා බලමු.

මේෂ

මෙම මාසය පුරා බුධ ග්‍රහයා ගමන් කරනුයේ ඔබේ කේන්දරයේ 8 වැන්න හා 9 වැන්න තුළය. සිකුරු ග්‍රහයා 7 වැන්න හා 8 වැන්න මතින් ගමන් කරන අතර රවි ග්‍රහයා ද 7 වැන්න හා 8 වැන්න තුළ තම චලිතය පවත්වා ගෙන යනු ඇත.

මාසය ආරම්භ වනුයේ ඔබට ශුභ ඵල උදා කරමින්ය. බලාපොරොත්තු ඉටුවන අතර සිතේ සතුටට හේතුවන දෑ සිදු වන්නට ඉඩ තිබේ. රැකීරක්‍ෂා, වෙළෙඳ ව්‍යාපාර හා ගොවිතැන් ආදියෙන් දියුණුවක්‌ අපේක්‍ෂා කළ හැක. ප්‍රීතිමත් ගමන් බිමන් මෙන්ම ප්‍රිය සම්භාෂණයන්ට සහභාගී වීමට ද අවස්‌ථාව උදා වේ.

මිල මුදල්, ලාභ හිමිවීමේ භාග්‍යය පවතී. විශේෂයෙන් ලොතරැයි ජයග්‍රහණයක්‌ මාසයේ මුල් සති දෙක තුළ බලාපොරොත්තු විය හැක. ආදායම් තත්ත්වය වෙනදාට වඩා වැඩි අගයක්‌ ගන්නා අතර ඔබේ බැංකු ගිණුම් ද තරවන්නට ඉඩ තිබේ. ස්‌ථිර ගති ප්‍රකටව පෙන්නුම් කරන මාසයකි.

ඥනය වැඩි දියුණුවන අතර අධ්‍යාපන කටයුතුවලට වෙනදා නැති උනන්දුවක්‌ දක්‌වනු ඇත. දූ දරුවන් පිළිබඳව සතුටුදායක ආරංචි ලැබේ. ඔබේ කේන්දරයේ බුධ යහපත්ව පිහිටා ඇත්නම් ධන ලාභ පිළිබඳව විශේෂයෙන් බලාපොරොත්තු වීමට පුළුවන.

ගෘහ ජීවිතය සතුටින් ගතකළ හැක. අලංකාර දේවලට සිත ඇදී යන අතර ආදර බන්ධන වැඩිදියුණු වේ. සමාජයේ ප්‍රසිද්ධියට පත්වේ. ජයග්‍රහණය පතා කරන ක්‍රීඩාවන්ගෙන් ජය අත්වීමට ඉඩ ඇති බැවින් මාසයේ මුල් සති දෙක ඒ පිළිබඳව අවධානය යොමු කරන්න.

මාසයේ මැද සිට තරමක්‌ කරදර ගලා එන්නට ඉඩ ඇත. පවුලේ අයකුගේ අසනීප තත්ත්වයක්‌ පිළිබඳව වෙහෙසෙන්නට සිදුවිය හැක. ඔබේ කටයුතුවලට උසස්‌ අයගෙන් බාධා ඇතිවන අතර ඔබ පිළිබඳව වැරැදි කතා පැතිර යැමට ඉඩ තිබේ. උෂ්ණ රෝග වැළඳීමේ ප්‍රවනතාවක්‌ පවතී.



වෘෂභ

මෙම මාසය පුරා බුධ ග්‍රහයා ඔබේ කේන්දරයේ 7 වැන්න හා 8 වැන්න මතින් ගමන් කරයි. සිකුරු 6 සහ 7 වැන්නේ ගෝචර වන අතර රවි ග්‍රහයා ද 6 සහ 7 වැන්න තුළ තම චලිතය පවත්වා ගෙන යනු ඇත.

මිශ්‍රඵල ගෙන දෙන මාසයකි. පළමු සති දෙක තුළ එතරම් යහපත් බවක්‌ ගෙන නොදුන්නද, අවසන් සති දෙක ඔබට ශුභඵල ගෙන දෙනු ඇත. රැකීරක්‍ෂා, වෙළෙඳ ව්‍යාපාර, ගොවිතැන් කටයුතු ආදියෙහි දියුණුවක්‌ අපේක්‍ෂා කළ හැක. බලාපොරොත්තු ඉටුවන අතර සිතෙහි සතුට හා ප්‍රීතිය පවතිනු ඇත.

ප්‍රීතිමත් ගමන් බිමන් යෙදෙන අතර ඒවා සමහර විට දුර බැහැර ගමන් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඔබේ බලය වැඩිවන මාසයකි. අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැක. අලුතින් අරඹන කටයුතුවල ප්‍රගතියක්‌ අපේක්‍ෂා කිරීමට පුළුවන. ආදායම් තත්ත්වය මාසයේ මැද සිට යහපත් වනු ඇත.

සතුරු කරදර අඩුවන අතර නඩු හබවලින් ජය අත්වේ. විනෝදාත්මක දේවලට සිත ඇදී යනු ඇත. විදේශගත මිතුරෙකුගෙන් හෝ ඥතියෙකුගෙන් ආර්ථික ලාභයක්‌ හිමිවීමට බොහෝ දුරට ඉඩ තිබේ. බැංකු සමඟ කරන ගනුදෙනු ඵලදායක වන අතර ඉල්ලා තිබූ ණය මුදලක්‌ ලැබෙනු ඇත.

ඔබේ කලත්‍රයාට අසනීප, රෝගාබාධ ඇතිවිය හැක. ස්‌ත්‍රී පක්‍ෂයේ අයකු මුල් කරගනිමින් නින්දා අපහාස විඳීමට ද ඉඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න. එසේම ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද උනන්දු විය යුතුය. මාසයේ අවසන් දින කිහිපය ඔබට තරමක්‌ අපල ගෙන දීමට ඉඩ තිබේ. සෙම් දෝෂ, උදරාබාධ, උණ, අක්‌මාවේ දෝෂ, අර්ශස්‌ වැනි රෝගවලින් පීඩා විඳීමට සිදුවිය හැක.

ඇස්‌වහ, කටවහ ඔබට විරුද්ධව ක්‍රියාත්මක විය හැකි කාලයක්‌ බැවින් ඒ සඳහා පිළියම් යෙදීම අත්‍යවශ්‍ය වේ. පෙම් සබඳතාවලට බාධා පැමිණෙන අතර විවාහක අඹු සැමියන් අතරේ අසමගිකම් පැන නැඟීමට ද ඉඩ තිබේ.



මිථුන

මෙම මාසය උදා වන්නේ බුධ ග්‍රහයා ඔබේ කේන්දරයේ 6 වැන්න සහ 7 වැන්න මතින් ගමන් කරන අතරේය. සිකුරු ග්‍රහයා 5 සහ 6 වැන්න තුළ ගමන් කරන අතර රවි ග්‍රහයා ද 5 වැන්න සහ 6 වැන්න අරා තම චලිතය පවත්වා ගෙන යනු ඇත.

වාසනාවන්ත මාසයකි. බලාපොරොත්තු ඉටු වේ. ඔබේ නම ප්‍රසිද්ධියට පත්වන අතර කීර්තිය හා ගෞරවය ඔබ සොයා එනු ඇත. රැකීරක්‍ෂා, වෙළෙ හෙළ¹ම් හා ගොවිතැන් කටයුතු සාර්ථක වේ. අලුතෙන් පටන් ගන්නා වැඩ කටයුතු ද වැඩි දියුණුවට පත්වේ.

ලාභ වැඩියෙන් ලැබෙන මාසයක්‌ වන අතර හදිසි ධන ලාභයක්‌ හෝ ලොතරැයි දිනුමක්‌ හිමිවීමේ භාග්‍යය පවතී. ජයග්‍රහණය පතා කරන කටයුතුවලින් ජය අත්වේ. ආදායම වැඩිවේ. දේපළ පිළිබඳ ගැටලුවක්‌ නිරාකරණය වේ. වාහන වාසනාව ඇත. නව වාහනයක්‌ ගැනීමේ සිහිනය සැබෑ කරගත හැක.

නිරෝගී සුවය අත්වන අතර පැවැති රෝගාබාධයන් ගෙන් සුවය ලැබේ. කතාව බලපවත්වන අතර එමගින් ඔබේ ආදායම් මාර්ග වැඩිකර ගත හැක. සියුම් ඥනය මෙහෙයවා කරන කටයුතුවලින් ජයග්‍රහණ හා වාසි අත්කර ගත හැක. දියුණුවේ දොරටු විවර වන අතර බඹරය වැල්ලෙත් කැරකෙන කාලයකි.

විරුද්ධ ලිංගිකයන් සමඟ ඇසුර වැඩිවේ. ඒවා තරමක්‌ දුරදිග යැමටද ඉඩ ඇත. දූ දරුවන්ට යහපත්ය. ගෘහ ජීවිතය වාසනාවන්ත වන අතර පවුලේ සාමය හා සමගිය උසස්‌ තත්ත්වයකින් පවත්වා ගෙන යා හැක. යහපත් මනුෂ්‍යයන් ඔබේ ඇසුරට පත්වන මෙම මාසයේ යහපත් වැඩ කටයුතුවලට සම්බන්ධ වීමේ අවස්‌ථාව උදාවේ.


කටක

මෙම මාසය පුරා බුධ ග්‍රහයා ගමන් කරනුයේ ඔබේ කේන්දරයේ 5 වැන්න හා 6 වැන්න තුළය. සිකුරු ග්‍රහයා, 4 වැන්න සහ 5 වැන්න මතින් ගමන් කරන අතර රවි ග්‍රහයාද 4 වැන්න සහ 5 වැන්න අරා තම චලිතය පවත්වා ගෙන යනු ඇත.

යහපත් මාසයකි. අශුභ ඵලවලට වඩා ශුභ ඵල ගෙන දෙන අතර බලාපොරොත්තු ඉටුවනු ඇත. සතුරු කරදර පහව යති. නඩු හබවලින් ජයග්‍රහණ අත්වේ. සිතේ සතුට පවතින අතර උසස්‌ අයගෙන් ආධාර උපකාර හිමිවනු ඇත. ලෙඩ දුක්‌වලින් සුවය ලැබේ.

දියුණුවට කටයුතු සිදුවන අතර රැකීරක්‍ෂා, වෙළ හෙළ¹ම් කටයුතුවලින්ද දියුණුවක්‌ අපේක්‍ෂා කළ හැක. සමාජයෙන් ගරු නම්බු, ප්‍රශංසා හිමිවේ. ඔබේ නම යහපත් අයුරින් ප්‍රසිද්ධියට පත්වන අතර ආගිය තැන පිළිගැනීමට ලක්‌වේ.

රසවත් ආහාරපාන මෙන්ම සුව පහසුවට අවශ්‍ය බඩු බාහිරාදියද ලැබෙනු ඇත. සිතේ ප්‍රීතිය පවතින අතර දුර බැහැර ගමනකටද ආරාධනා ලැබෙන්නට ඉඩ තිබේ. සමහර විට එය විදේශ ගමනක්‌ වීමටද පුළුවන.

වාහන මිලදී ගැනීමක්‌ සිදුවිය හැක. ගෘහ ජීවිතය ඔබහට උවමනා අයුරින්, හිතන පතන ලෙසින් පවත්වා ගෙන යා හැක. නිතර නිතර හිතවතුන් සමඟ ගමන් බිමන්වල යැමට අවස්‌ථාව උදා වේ. එමෙන්ම ප්‍රිය සම්භාෂණ සඳහා ද ඔබට ඇරැයුම් ලැබෙනු ඇත.

ණය තුරුස්‌වලින් නිදහස ලැබෙන අතර ලාභයක්‌ද හිමිවනු ඇත. දියුණුවට කටයුතු සැලසේ. කරන කියන සෑම දෙයකින්ම ලාභ හිමිවන මාසයකි. ජයග්‍රහණය පතා කරන ක්‍රීඩාවන් ගෙන් ජය අත්වන අතර හදිසි ධන ලාභවලටද ඉඩ ඇත. දූ දරුවන්ගේ දියුණුව අපේක්‍ෂා කළ හැක.



සිංහ

මෙම මාසය පුරා බුධ ග්‍රහයා ඔබේ කේන්දරයේ 4 වැන්න සහ 5 වැන්න මතින් ගමන් කරයි. සිකුරු ග්‍රහයා 3 සහ 4 වැන්නේ ගෝචර වන අතර රවි ග්‍රහයාද 3 සහ 4 වැන්න තුළ තම චලිතය පවත්වා ගෙන යනු ඇත.

වාසනාවන්ත මාසයකි. කරගෙන ආ කටයුතු මෙන්ම අලුතෙන් ආරම්භ කරන කටයුතුද දියුණුවට පත්වේ.

රැකීරක්‍ෂා, වෙළහෙළ¹ම් හා ගොවිතැන් කටයුතු සාර්ථක වන අතර මිල මුදල් ලාභද හිමිවේ.

ඔබේ නම යහපත් ලෙසින් ප්‍රසිද්ධියට පත්වේ. සමාජයෙන් ප්‍රශංසා හිමි වේ. ආදායම් තත්ත්වය ඉහළ අගයක්‌ ගන්නා අතර හදිසි ධන ලාභයකටද භාග්‍යය ඇත. එය අනපේක්‍ෂිත ලොතරැයි දිනුමක්‌ වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ගෙදර දොර ප්‍රීතිය හා සැනසුම පවතී. පවුලේ සමගිය හා වාසනාව ඇතිවන අතර දරුවන් සමඟ ඇති බැඳීම වර්ධනය වේ. මවට යහපත්ය. මවගෙන් ඔබට උදවු උපකාර හෝ උරුමයක්‌ හිමි වන්නට ඉඩ තිබේ. සිතේ සතුට පවතින මාසයකි.

දේපළක්‌ විකිණීමෙන් ඔබේ කොටස ලෙස විශාල මුදලක්‌ හිමිවන්නට ඉඩ ඇත. ඔබේ බලය වැඩිවන මෙම කාලයේ අත ගසන සෑම දෙයක්‌ම සාර්ථක වේ. ආයෝජනයක්‌ මල්ඵල ගැන්වෙන අතර බලාපොරොත්තු නොවූ ප්‍රතිඵල අත්විඳීමට අවස්‌ථාව ලැබෙනු ඇත.

මාසයේ මැද භාගයෙන් පසු තරමක අවුල් සහගත බවක්‌ ගෙන දීමට ඉඩ තිබේ. සිතේ සැනසීමට බාධා ගෙන දෙනු ඇත. ණය ගනුදෙනුවලින් පාඩු සිදුවිය හැක. ආදායම් තත්ත්වය තරමක්‌ දුරට පහළ යැමට ඉඩ තිබේ. ඇසුරු කරන්නන් සමඟ අවුල් ඇතිවන අතර අනවශ්‍ය කතාබහ දුර දිග යැමට ඉඩ ඇති බවක්‌ පෙනේ.

සෞඛ්‍ය තත්ත්වයද තරමක්‌ දුර්වල විය හැකිය. පපුවේ වේදනාවක්‌ හෝ කැස්‌සක්‌ ඇතිවීමට ඉඩ ඇත.


කන්‍යා

මෙම මාසය පුරා බුධ ග්‍රහයා ඔබේ කේන්දරයේ 3 වැන්න සහ 4 වැන්න මතින් ගමන් කරයි. සිකුරු ග්‍රහයා 2 වැන්න සහ 3 වැන්න තුළ ගෝචර වන අතර රවි ග්‍රහයා ද 2 වැන්නේ සහ 3 වැන්නේ තම චලිතය පවත්වාගෙන යනු ඇත.

වාසනාවන්ත මාසයකි. ආගිය තැන පිළිගැනීමට ලක්‌වේ. අත ගසන සියලු කටයුතු සාර්ථක වන අතර උසස්‌ දියුණුවක්‌ අපේක්‍ෂා කළ හැක. රැකීරක්‍ෂා, වෙළ හෙළ¹ම් හා ගොවිතැන් කටයුතුවලින් වැඩි ලාභ අත්වනු ඇත.

සතුරු කරදර පහව යන අතර නඩු හබ ආදියෙන් නිදහසක්‌ ලැබෙන්නට ඉඩ තිබේ. ඔබේ සහෝදර සහෝදරියන් සමඟ ඇසුර වැඩිවනු ඇත. ඔවුන් ඔබ සොයා නොපැමිණියහොත් ඔබට ඔවුන් සොයා යන්නට සිත්දෙන කාලයකි.

විශේෂයෙන් ස්‌ත්‍රී පක්‍ෂයෙන් ලාභ ප්‍රයෝජන හිමිවේ. විරුද්ධ ලිංගිකයන් සමඟ තදබල බැඳීම් ඇතිවන අතර ආලය, ආදරය හා පෙම් සබඳතා තරවනු ඇත. විවාහ අපේක්‍ෂිත තරුණ තරුණියන්ගේ විවාහ පැතුම් මල්ඵල ගැන්වීමට ඉඩ ඇති සුන්දර මාසයකි.

ප්‍රීති උත්සව, ප්‍රිය සම්භාෂණ ආදියට ආරාධනා ලැබේ. සිරුරේ අලංකාරය වැඩිකර ගැනීමට වැඩි වියදමක්‌ දැරීමට සිදුවේ. නිවසේ ප්‍රීතිය පවතින අතර දූ දරුවන් ඇසුරේ කාලය ගත කිරීමට වැඩි කැමැත්තක්‌ දක්‌වනු ඇත.

විදේශ සංචාරයක හෝ මෙරට දුර බැහැර ගමනක යෙදීමට අවස්‌ථාව උදාවේ. විදේශගත හිතවතකුගෙන් හේ ඥතියකුගෙන් ඔබේ ජීවිතයට මූල්‍යමය ආධාරයක්‌ ලැබීමේ ප්‍රවනතාවක්‌ පවතී. තෑගි භෝග හිමිවනු ඇත.

රජයෙන් මෙන්ම උසස්‌ අයගෙන්ද ඔබට ගෞරව සැලකිලි හිමි වේ. සතුට, ප්‍රීතිය ඔබේ මුහුණින් දිස්‌වන අතර එය විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනයට හේතුවනු ඇත. හදිසි ධන ලාභවලට වාසනාව ඇත.



තුලා

මෙම මාසය උදා වන්නේ බුධ ග්‍රහයා ඔබේ කේන්දරයේ 2 වැන්න හා 3 වැන්න මතින් ගමන් කරන අතරේය. සිකුරු ග්‍රහයා ලග්නය සහ 2 වැන්න තුළ ගෝචර වන අතර රවි ග්‍රහයා ද ලග්නය සහ 2 වැන්න අරා තම චලිතය පවත්වා ගෙන යනු ඇත.

ඔබට වාසනාව හා භාග්‍යය උදාකරන මෙම මාසයේ සියල්ල ඔබ සිතන පතන අන්දමටම සිදුවනු ඇත. මාසයේ මුල සිටම වාසනාව හා ජයග්‍රහණ ඔබ සොයා එන බව පෙනේ. එම නිසා ඒ පිළිබඳව උනන්දු වන්න.

ආදායම් තත්ත්වය වැඩිවේ. ධනය ගලාගෙන ඒමේ ප්‍රවනතාවක්‌ පවති. හදිසි ධන ලාභවලට හිතකර මෙම මාසයේ ලොතරැයි දිනුමකට භාග්‍යය ඇත. ඔබේ පෙර පින් ක්‍රියාත්මක වන කාලයක ආරම්භය මෙම මාසයේ සනිටුහන් කරවයි. ඔබේ දියුණුවට නව ආදායම් මාර්ග විවර කර දෙන අතර නව සිතිවිලි ක්‍රියාවට නැංවීමෙන් ඔබේ බැංකු ගිණුම් තරවනු ඇත.

කතාවේ බලය නමින් දියුණුවේ මාවත හෙළි පෙහෙළි කර අනාගතය සැලසුම් කරගන්න. ඊට හොඳම ආරම්භය මෙම මාසය වනු ඇත. අවුරුදු 7 1/2 ක්‌ මුළුල්ලේ ඔබ ගෙවමින් සිටි සෙනසුරු ලග්න ඒරාෂ්ඨක අපල තත්ත්වය මෙම වසරේ පසුගිය ඔක්‌තෝබර් 27 වැනිදා අවසන් විය. උදාවී ඇත්තේ ඉදිරියට ගත කිරීමට ඇති වාසනාවන්ත කාලයේ පළමු මාසයයි. වෙනදාට වඩා උත්සාහයෙන් හා ධෛර්යෙන් යුතුව කටයුතු කිරීමට ඔබ සිතට ගත යුතුය. වාසනාව ඔබ පසුපස හඹා එන බවක්‌ පෙනේ.

රැකීරක්‍ෂා, ව්‍යාපාර හා ගොවිතැන් කටයුතුවල දියුණුවක්‌ අපේක්‍ෂා කළ හැක. සතුරු කරදර පහව යන අතර නඩු හබ පැවතියේ නම් ජය අත්වේ.

උසස්‌ අයගෙන් ගෞරව ප්‍රශංසා හිමිවන අතර ඔබේ දියුණුවට ආධාර, උපකාර හා උපදෙස්‌ ලැබෙනු ඇත. නවීන වාහනයක්‌ හිමිවීමේ භාග්‍යය පෙන්නුම් කෙරේ. ආගිය තැන පිළිගැනීමට ලක්‌වේ. නව නිවසක්‌ ගොඩනැඟීමට හෝ නිවාස අලුත්වැඩියාවක්‌ සිදු කිරීමට ඉඩ ඇත. වාසනාවන්ත මාසයකි.



වෘශ්චික

මෙම මාසය පුරා බුධ ග්‍රහයා ගමන් කරනුයේ ඔබේ කේන්දරයේ ලග්න භාවය සහ 2 වැන්න තුළය. සිකුරු ග්‍රහයා 12 වැන්න සහ ලග්නය මතින් ගමන් කරන අතර රවි ග්‍රහයා ද 12 වැන්න සහ ලග්නය අරා තම චලිතය පවත්වා ගෙන යනු ඇත.

පැවති රෝග තත්ත්වයන්ගෙන් සුවය අපේක්‍ෂා කළ හැක. බෙහෙත් වර්ග පත්තියම් වන අතර නිරෝගී බව ගෙන දෙනු ඇත. ගෘහ ජීවිතය සතුටින් ගතකළ හැක. කලත්‍රයා හා දූ දරුවන් අතරේÊසොම්නස්‌ දිවියක්‌ ගත කිරීමේ වාසනාවන ඇත. සතුට, ප්‍රීතිය හා ප්‍රමෝදය ඔබට සමීප කරවන වාසනාවන්ත මාසයකි.

ජීවිතයට මෙතෙක්‌ පැවති කරදර, බාධා, දුක්‌ කම්කටොලු ක්‍රමයෙන් පහව යනු ඇත. ආදර හා ප්‍රේම සබඳතා, පෙම්වත් ඔබ තුළ දලු ලා වැඩෙන අතර විවාහයක්‌ කරා වුද යැමේ ප්‍රවනතාවක්‌ පවතී. සැපවත් ජීවිතයක්‌ ගත කිරීමේ භාග්‍යය ඇත. විරුද්ධ ලිංගිකයන් වෙත වඩ වඩාත් ළංවීමටත් ආදර සබඳතා තරකර ගැනීමෙන් අවස්‌ථාව උදාවේ. කැඩී බිඳී ගිය ආදර සබඳතා නැවත සවි විය හැක.

ආදායම් තත්aත්වය යහපත් වේ. කරන කියන සෑම දෙයකින්ම ලාභ ලැබෙනු ඇත. ලාභ අපේක්‍ෂාවෙන් කරනු ලබන සෑම කටයුත්තකින්ම ඔබේ අතමිට සරුවන අතර ආදායම් මාර්ග වැඩිදියුණු කර ගැනීමේ මාර්ග පිළිබඳව විමසිලිමත් වන්න.

සුඛෝපභෝගී වාහන පහසුකම් ලැබේ. රසවත් ආහාරපාන භුක්‌ති විඳිමින් සැපවත් ලෙස ජීවිතය ගතකළ හැක. අලුත් ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන් හා කලාත්මක ආභරණ ලැබෙන අතර තමන්ගේම ඡායාරූප විවිධ ආකාරයෙන් ගැනීමට සිත පොළඹවනු ඇත. සංගීතයට ප්‍රියවන අතර සංගීත භාණ්‌ඩ වාදනය කිරීමට ද කැමැත්තක්‌ දක්‌වන්නට ඉඩ තිබේ.

සිතට මෙන්ම කයටද සුවය හා සැපය ලැබෙනු ඇත. ප්‍රීතියෙන් හා විනෝදයෙන් කාලය ගත කිරීමට අවස්‌ථාව ඇත.



ධනු

මෙම මාසය පුරා බුධ ග්‍රහයා ගමන් කරනුයේ ඔබේ කේන්දරයේ 12 වැන්න හා ලග්නභාවය මතය. සිකුරු ග්‍රහයා 11 වැන්න හා 12 වැන්න හා තුළ ගමන් කරන අතර රවි ග්‍රහයාද 11 වැන්න හා 12 වැන්න අරා එම ගෝචරය පවත්වාගෙන යනු ඇත.

මාසයේ ආරම්භයකට යහපත් බවක්‌ ගෙන දෙනු ඇත. ගෞරවය හා ප්‍රසිද්ධිය ලැබේ. රැකීරක්‍ෂා, වෙළ හෙළ¹ම් කටයුතු දියුණුවට පත්වේ. රජයේ රැකියාවන්හි නියුතු ඔබට තනතුරුවලින් උසස්‌වීම් හිමිවන අතර විශේෂ සැලකිලි ලැබෙනු ඇත.

ඔබෙන් ලබාගත් ණය මුදලක්‌ නැවත ඔබට ලැබෙන්නට ඉඩ තිබේ. උවමනාවන් සපුරා ගැනීමට අවශ්‍ය තරම් මුදල් ලැබෙනු ඇත. මාසයේ මුල් සති දෙක තුළ හදිසි ධන ලාභයකට වාසනාව පෙන්නුම් කෙරේ. මිල මුදල් අතින් කරදර නැත.

විනෝද සවාරි යැමටත්, හිතවතුන් හිතවතියන් සමඟ ප්‍රිය සම්භාෂණ පැවැත්වීමටත් අවස්‌ථාව උදාවේ. ප්‍රසිද්ධිය ලැබීමේ අරමුණින් කටයුතු කිරීමට පෙළඹේ. අලංකාර දේවලට සිත ඇදී යන මෙම මාසයේ, විනෝදය සඳහා ද වැඩිපුර වියදම් කරනු ඇත.

උසස්‌ අයගෙන් ගරු සැලකිලි හිමිවන අතර ඔබේ පියාට ඉතාම යහපත්ය. පියාට වස්‌තු ලාභයක්‌ හෝ හදිසි ලොතරැයි ලාභයක්‌ හිමිවීමට ඉඩ තිබේ. අලුත්, උසස්‌ හිතමිතුරන් ඇසුරට ලැබෙන අතර ඔවුන්ගෙන් ඔබේ ජීවිතයට නව සවියක්‌ ලැබෙනු ඇත.

ව්‍යාපාර කටයුතුවල නියුතු ඔබේ බඩු බාහිරාදිය කඩිනමින් අලෙවි වන අතර කෙටි කාලයක්‌ තුළ වැඩි ලාභයක්‌ ලබා ගැනීමට අවස්‌ථාව උදාවනු ඇත. දියුණුවට කටයුතු සැලසේ. අලංකාර වස්‌ත්‍ර හා ආභරණ තෑගි වශයෙන් ලැබෙන්නට පුළුවන.



මකර

මෙම මාසය පුරා බුධ ග්‍රහයා ගමන් කරනුයේ ඔබේ කේන්දරයේ 11 සහ 12 මතින්ය. සිකුරු ග්‍රහයා 10 සහ 11 වැන්න තුළ ගමන් කරන අතර රවි ග්‍රහයාද 10 සහ 11 වැන්න අරා තම චලිතය පවත්වාගෙන යනු ඇත.

වාසනාවන්ත මාසයකි. සෑම අතින්ම දියුණුවට කටයුතු සැලසේ. බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේ. මිල මුදල් යහමින් අතමිට ගැවසෙන අතර හදිසි ධනලාභ හිමිවනු ඇත. විශේෂයෙන් ලොතරැයි ජයග්‍රහණයකට වාසනාව පෙන්නුම් කෙරේ.

රැකීරක්‍ෂා, ව්‍යාපාර හා ගොවිතැන් කටයුතුවලින් විශේෂ දියුණුවක්‌ අපේක්‍ෂා කළ හැක. සියලු කටයුතු සාර්ථක වන අතර සිතේ සතුට හා ප්‍රීතිය පවතිනු ඇත. ගෘහ ජීවිතය වාසනාවන්ත වේ. දරු ශිෂ්‍යාදීන්ගේ දක්‍ෂතා පිළිබඳව සතුටු වීමට අවස්‌ථාව උදා කෙරේ.

සමාජයෙන් ගෞරව හිමිවන අතර ස්‌තුති ප්‍රශංසා නිතර අසන්නට ලැබේ. අලුත් අලුත් දෑ ඉගෙනීමට මෙය සුදුසු කාලයකි. නව ඉගැන්වීම් හා විවිධ භාෂා හැදැරීම් මෙම කාලයේ ආරම්භ කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල උදා කරගත හැක.

නම ප්‍රසිද්ධියට කරුණු යෙදෙන අතර ප්‍රසිද්ධ තැන්වලට යැමටද ආරාධනා ලැබෙන කාලයකි. මෙම මාසය තුළ නඩු හබවලට පැටලීSමෙන් වැළකිය යුතුය. සතුරන් හා ඊර්ෂ්‍යාකාරයන්ගේ අවධානය යොමුවන කාලයක්‌ බැවින් ප්‍රවේශම් වීම අත්‍යවශ්‍ය වේ.

ස්‌ත්‍රීන් නිසා අනවශ්‍ය කරදර ඇතිවිය හැකි බව අමතක නොකරන්න. සහෝදරියන්ට හා මවට යහපත්ය. නිරෝගී සුවය පවතිනු ඇත. කපටි ගති ඇති තීක්‍ෂණ බුද්ධියකින් යුත් පුද්ගලයන් හඳුනාගෙන කටයුතු කිරීමෙන් සිදුවිය හැකි හානි වළක්‌වා ගැනීමට උත්සාහ කරන්න.


කුම්භ

මෙම මාසය පුරා බුධ ග්‍රහයා ගමන් කරනුයේ ඔබේ කේන්දරයේ 10 සහ 11 වැන්න මතය. සිකුරු ග්‍රහයා 9 සහ 10 වැන්න තුළ ගමන් කරන අතර රවි ග්‍රහයාද 9 සහ 10 වැන්න අරා තම චලිතය පවත්වාගෙන යනු ඇත.

සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත මාසයකි. මිල මුදල් ලැබීම යහපත් වන අතර හදිසි ධන ලාභ හිමිවනු ඇත. පොළොවෙන් වස්‌තු ලැබීමේ භාග්‍ය ඇති අතර ඉඩකඩම් විකිණීමෙන් විශාල ලාභයක්‌ ලැබීමට පුළුවන.

සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. ණය තුරුස්‌වලින් නිදහස ලැබේ. සතුරු කරදර පහව යනු ඇත. සිතේ සතුට සියල්ල සිදු වන්නට ඉඩ තිබේ. ගෘහ ජීවිතය තුළ තරමක චංචල ස්‌වභාවයක්‌ ඇති විය හැක. එය දරුවකුගේ හිතුවක්‌කාර ක්‍රියාවක්‌ හේතු කොටගෙනය.

රැකීරක්‍ෂා, වෙළෙඳ ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු සාර්ථක වේ. පසුගිය කාලයේ පැවති අපල තත්ත්වයන් ක්‍රමයෙන් ඉවත්ව යහපත් වාසනාවන්ත කාලයක්‌ ඔබට උදාවනු ඇත. සියලුම කටයුතු සාර්ථක වන අතර ආදායම් තත්ත්වයද ඉහළ අගයක්‌ ගන්නා බව පෙනේ.

නව සිතිවිලි පහළවන කාලයකි. එම සිතිවිලිවලට අනුව කටයුතු කිරීමට උත්සහ කිරීමෙන් දියුණුවේ මංපෙත් විවර කරගත හැක. ආගමික භක්‌තිය වැඩිවන අතර පුණ්‍ය කටයුතු සඳහා වැඩි කාලයක්‌ යොදවනු ඇත. වන්දනා ගමන් යෙදේ.



මීන

මෙම මාසය පුරා බුධ ග්‍රහයා ගමන් කරනුයේ ඔබේ කේන්දරයේ 9 සහ 10 වැන්න මතය. සිකුරු ග්‍රහයා 8 සහ 9 වැන්න තුළ ගමන් කරන අතර රවි ග්‍රහයාද 8 සහ 9 වැන්න අරා තම චලිතය පවත්වාගෙන යනු ඇත.

මාසයේ ආරම්භය ඔබට එතරම් යහපත් වේ යෑයි කීමට නුපුළුවන. විශේෂයෙන් ශරීර සනීපයට බාධා පැමිණීමට ඉඩ තිබේ. උදාසීන ගති මෙන්ම සිරුරේ අප්‍රාණික ගති බල පවත්වන්නට හැකිය. උෂ්ණ රෝගවලින් පීඩා ඇති විය හැක.

ඔබට හෝ ඔබේ පවුලේ අයටද අසනීප ලෙඩ දුක්‌ සෑදීමට ඉඩ තිබේ. හිතවතකුගේ වෙන්වීමක්‌ද පෙන්නුම් කෙරේ. නින්දා අපහාස පවා විඳින්නට සිදුවේ. අධික වියදම්ද යෙදේ. කිසියම් අලාභයක්‌ සිදුවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන්න.

මාසයේ මුල් සති දෙක එකලෙස ගෙවී ගියද අවසන් සති දෙක ඔබට අයහපත් නැත. මිශ්‍රඵලදායකය. බොහෝ දේ යහපත් අන්දමට සිදුවනු ඇත. දියුණු වීමට ඔබ ගන්නා උත්සාහයන් සාර්ථක වන අතර ඒවායින් යහපත් ප්‍රතිඵල උදා කරගත හැක. රැකියා, ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු දියුණුවට පත්වේ. ආදායමද ඉහළ අගයක්‌ ගනු ඇත.

ගෘහ ජීවිතය වාසනාවන්ත වේ. පවුලේ සාමය, සමගිය, ප්‍රීතිය හා සැනසීම පවතී. දරුවකුගේ ජයග්‍රහණයක්‌ වෙනුවෙන් සතුටු වීමට අවස්‌ථාව උදාවේ. විවාහ වීමට සුදුසු වයසේ සිටින ඔබට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වනු ඇත. පෙම් සබඳතා තර වේ. වැඩිහිටි ආශිර්වාද හිමි වේ.

දරු සම්පතක්‌ පවුලට අලුතින් එකතු වීමට ඉඩ තිබේ. සියලු දේ යහපත් අයුරින්, වාසනාවන්ත ලෙස සිදුවනු ඇත. ඔබ සිටිනා සමාජය ස්‌ථරය තුළ ඔබට විශේෂ පිළිගැනීමක්‌ හා ප්‍රසිද්ධියක්‌ හිමිවීමට ඉඩ තිබේ. ඔබේ කතාවෙන් අන්‍යයන් වසඟ කර ගැනීමට හැකිවන අතර එය ඔබේ දියුණුවට මහත් පිටිවහලක්‌ වනු ඇත.

පාරම්පරික ජ්‍යෙdතිෂ්‍යවේදී
කොටදෙනියාවේ
ඩී. ඩග්ලස්‌ නිමලවංශ ගුණවර්ධන

077 - 6283097
© Copyright (2012) * Lanka Hot News* All Rights Reserved.