පවුල් දෙකක 8ක්‌ තෙල්ගමුව ඔයේ සැගව යති

ලග්ගල තෙල්ගමුව ඔයේ දිය නෑමට ගිය නාත්තණ්‌ඩිය ප්‍රදේශයේ ව්‍යාපාරික පවුල් දෙකකට අයත් අටදෙනකු හදිසියේ ගලා ආ ජල ප්‍රවාහයට හසුවී අතුරුදන්වී ඇත.මෙලෙස අතුරුදන් වූ පුද්ගලයන් හය දෙනෙකුගේ මළ සිරුරු ඊයේ (5 දා) සවස්‌ වන විට හමුවී තිබිණි.

ව්‍යාපාරිකයන් දෙදෙනාගේ කාන්තාවන් දෙදෙනකුගේ හා කුඩා දැරියන් දෙදෙනකුගේ සිරුරු හමුවී ඇති අතර තවත් දැරියන් දෙදෙනකුගේ සිරුරු මෙතෙක්‌ හමුවී නැත.

මෙම අනතුරු සිදුව ඇත්තේ පෙරේදා (4 දා) සවස 2 ට පමණ ඇටන්වල වැද්දා පැණි ඇල්ල ඉස්‌මත්තේදීය.

මියගොස්‌ ඇති නාත්තණ්‌ඩියේ පදිංචි කිංස්‌ලි රත්නායක මහතා අයිස්‌ක්‍රීම් ව්‍යාපාරිකයෙකි. ලග්ගල-තෙල්ගමුව ඔය ආසන්නයේ අවන්හලක්‌ ඉදිකිරීමට කිංස්‌ලි මහතා කටයුතු කර ඇත. එම අවන්හලේ ඉදිකිරීම් මේ දිනවල සිදුවෙමින් පවතී. මේ අතර අසල්වැසියකු වන රවීන්ද්‍ර ලසන්ත යන අයගේ උපන් දිනය පසුගිය 4 වැනිදාට යෙදී තිබී ඇත. පවුල් දෙකම එක්‌ව උපන් දිනය සැමරීම සඳහා යොදාගෙන ඇත්තේ කිංස්‌ලි රත්නායක මහතාට අයත් ලග්ගල-තෙල්ගමුව ඔය ආසන්නයේ පිහිටි අවන්හලයි.

මියගොස්‌ ඇති අය අතරට කිංස්‌ලි රත්නායක මහතා (අවු. 38) ඒ මහතාගේ දියණියෝ දෙදෙනා හා බිරිඳගේ මවද සිටිති. වැඩිමහල් දියණිය වන චිනුකි රත්නායක (අවු. 13), නාත්තණ්‌ඩිය ධම්මිස්‌සර ජාතික පාසලේ 8 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබමින් සිටි අතර වයස අවු. 4 වන හිරුණි රත්නායක තවමත් පෙර පාසල් යමින් සිටී. කිංස්‌ලි රත්නායක මහතාගේ බිරිඳගේ මව වන එම්. චන්ද්‍රකාන්ති (අවු. 59) මියගොස්‌ ඇත. කිංස්‌ලිගේ බිරිඳ වන දුලීකා මාරසිංහ (අවු. 37) මහත්මිය සහ ඇයගේ පියා වන රූපදාස මාරසිංහ මහතා ද දිවි බේරාගෙන තිබේ.

උඩුවරගේ රවීන්ද්‍ර ලසන්ත (අවු. 39) ඔහුගේ බිරිඳ වන රුවනි දිල්රුක්‍ෂි (අවු. 38) සහ එම දෙපළගේ දරුවන් වන රිශාදි වගීෂා (අවු. 12), දිමාෂි විදුෂා (අවු. 08) යන දෙදෙනා ද මියගොස්‌ තිබේ. එම පවුලේ එකම පිරිමි දරුවා වන අදීත මෙත්සර (අවු. 5) මෙම අනතුරින් දිවි ගලවාගෙන ඇත.

රුවනි දිල්රුක්‍ෂි මහත්මිය පාසල් ගුරුවරියකි. ඇය නාත්තණ්‌ඩිය ජනාධිපති විද්‍යාලයේ සේවය කරමින් සිට ඇත. දියණියන් දෙදෙනා වන රිශාදි සහ දිමාෂි නාත්තණ්‌ඩිය ධම්මිස්‌සර ජාතික පාසලේ 7 සහ 3 වසර පන්තිවල ඉගෙනුම ලබමින් සිට ඇත. විනුනි රත්නායකගේ හා විමානිගේ සිරුරු ඊයේ සවස්‌ වන විටත් සොයාගෙන නොතිබිණි.

පිරිස දිය නෑමට පැමිණි මොහොතේ අඩියක පමණ දිය පහරක්‌ තිබී ඇත. සැණෙකින් එය අඩි 4-5 ක්‌ දක්‌වා වැඩිවී ඇත්තේ සුනාමියක්‌ වැනි ජල ප්‍රවාහයක්‌ සමගය. මෙම තත්ත්වය වැසි කාලයේ මෙම ගඟේ නිතර සිදුවන බව පවසන ප්‍රදේශවාසීහු සංචාරක පිරිස මේ බව නොදැන දියට බැස ඇති බව පැවැසූහ.

පිරිස දියට බැස සුළු වේලාවකින් අනතුරට මුහුණදී තිබූ අතර දිය පහර ඉහළින් ඇදී ඒදදී ඥති දියණියන් සිව්දෙනා එක පොකුරට ගුලිවී සිටියෙන් වේගයෙන් ආ ජල කඳට හසුව පිරිස විසිරී යනු තමා දුටු බවත් සිය සැමියා ගලක එල්ලී විනාඩි 5 ක්‌ පමණ ජීවිතය බේරා ගැනීමට අපමණ වෙහෙසක්‌ දැරූ බවත් දුලීකා මහත්මිය කියා සිටියාය.

මූණ බලා ගැනීමට හෝ තම අහිංසක දියණියන් සොයාදෙන ලෙස ඉල්ලා ඇය නඟන විලාපයෙන් ලග්ගල උඩසිය ප්‍රදේශයම කම්පාවට පත්ව ඇත.

දැඩි මීදුම රුදුරු සීතල සහ නොනවතින වැස්‌ස නොබලා දිවි පරදුවට තබමින් ගම්වාසී තරුණයෝ පොලිසිය හා එක්‌ව 4 දා සවස 6 වන විට සිරුරු 5 ක්‌ සොයාගත්හ.

නාවික හමුදාව, මාදුරුඔය විශේෂ බළකා යුද හමුදා ඛාණ්‌ඩය, ලග්ගල රත්තොට පොලිසි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාම නිලධාරීන් සහ ප්‍රදේශවාසීහු මෙහෙයුම් කටයුතු සඳහා දැඩි පරිශ්‍රමයක්‌ දැරූහ.

ලග්ගල පොලිසියේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්‍ෂණ සිදුවෙයි.
© Copyright (2012) * Lanka Hot News* All Rights Reserved.