අපි දෙන්නා තවම දරු සුරතල් බලන්න හිතලවත් නැහැ - ගීතිකා රාජපක්ෂ

‘උතුම් පැතුම්’ ටෙලි නාට්‍යය හරහා සුදු හාමිනේ චරිත තුළින් පේ‍්‍රක්ෂක ආදරය දිනාගත් ඇය අද වනවිට පේ‍්‍රක්ෂකාගාරයේ ඉතාම ජනප‍්‍රිය තාරකාවියක්. මේ දිනවලත් ටෙලි නාට්‍ය කිහිපයකින්ම ඔබ හමුවට එන ගීතිකා රාජපක්ෂව ඇයට ආදරය කරන ඔබ වෙනුවෙන් කතා බහකට එකතු කර ගන්න හිතුවා.

ඉතින් මේ දවස්වල මොනවද අලූත් වැඩ?

තුරුම්පු ආසියා, හුලං ගෙදර මේ ටෙලිනාට්‍ය දෙකත් එක්ක තමයි වැඩිපුරම කාලය ගෙවන්නේ. තව සම්පත් ජයවීර අයියාගේ ලස්සන ටෙලි නාට්‍යයක් සිරස ඔඪ තුලින් ළඟදීම විකාශය වෙන්න නියමිතයි. ඒක හතර වටේ කියලා කොමඩි ටෙලි නාට්‍යයක්. මම මීට කලින් කවදාවත් කොමඩි චරිත කරලා නැහැ. ඒ නිසා ඒ චරිතය මම ගොඩක් ආසාවෙන් කරනවා. දඟකාර කටකාර චරිත ටිකක් තමයි මේ දවස්වල නිරූපනය කරන්නේ.

ගීතිකාට වැඩිපුරම කටකාර දඟකාර චරිතම ලැබෙන්නේ ඇයි?

ඔව්. වැඩිපුරම ආරාධනා ලැබෙන්නේ කටකාර, දඟකාර චරිතවලට. ඒත් ආදරේ ගින්දරක් ටෙලිනාට්‍යයේ මම කළු චරිතයක් කළා. ඊට පස්සෙ හිතුවා ආයෙත් මම කළු චරිත රඟපාන්නේ නැහැ කියලා.

හේතුව?

නපුරු සහ චපල චරිත කළහම පේ‍්‍රක්ෂකයෝ අපි දිහා බලන්නේ ඒ විදිහට. මම කැමති ආදරණීය චරිත කරන්න. මොකද පේ‍්‍රක්ෂකයෝ තාමත් මට ආදරේ කරන්නේ උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ සුදු හාමිනේ චරිතය නිසා. මම කළු චරිත කළොත් පේ‍්‍රක්ෂකයෝ සුදු හාමිනේට ආදරේ නැති වුණොත් කියලා මම ආයෙම කළු චරිත නම් කරන්නේ නැහැ කියලා හිතා ගත්තා.

ඒත් එකම චරිතවලට කොටු වෙන එක රංගන ජීවිතේට අසාධාරණයක් නෙමෙයිද?

ඒකකාරී චරිතවලින් මිදිලා වෙනස් චරිතයක් කරන්න මටත් ලොකු අවශ්‍යතාවක් තියෙනවා. ඒත් මට ඒකට තවම අවස්ථාවක් ලැබිලා නැහැ. ඒත් මෙතෙක් කාලයක් මට ලැබුණු චරිත ගැන ලොකු සතුටක් වගේම හොඳ ප‍්‍රතිචාරයක් ලැබෙනවා.

ගීතිකාට පාසල් කාලේ ඉඳලම නිළි හීනයක් තිබුණා කියන්නේ ඇත්ත ද?

ආසාවක් නම් තිබුණා. ඒත් ගෙදරින් ඒ හීනවලට ඉඩකඩ ලැබුණේ නැහැ. ඒත් අවසානයේ දෛවය හැමදේම වෙනස් කරලා අන්තිමේදී මම නිළියක් වුණා. මුලින්ම මම ක්ෂේත‍්‍රයට ආවේ නිරූපණ ශිල්පිනියක් විදිහට. දවසක් පුවත්පතක පළවුණු ඡුායාරූප කිහිපයක් දැකලා නිල්වලා ආයතනයෙන් කතා කරලා රඟපාන්න අවස්ථාවක් දුන්නා. ඒ්ත් ඒ අවස්ථාව මම ප‍්‍රතික්ෂේප කළා. මොකද ආසාව තිබුණට මම කවදාවත් රංගනය පැත්තට යන්නේ නැහැ කියන මතයේ හිටියා.

ඇයි ඒ මතය වෙනස් වුණේ?

අම්මලා කැමති වුණේ මම ඉගෙන ගන්න දෙයින් රැුකියාවක් කරනවට. ගෙදර අයට රංගන ක්ෂේත‍්‍රය ගැන ලොකු පැහැදීමක් තිබුණෙත් නැහැ. ඔය කාලෙදිම ලංකාවේ ජනප‍්‍රිය ටෙලිනාට්‍යයක ප‍්‍රධාන චරිතයකටත් මට කතා කළා. මොකක්දෝ අවාසනාවකට මම ඒ අවස්ථාවට පයින් ගැහුවා. නැවත මාස ගාණකට පස්සේ හොඳට හිතලා මම රැුකියාවෙන් ඉවත් වෙලා කලාවට යොමු වුණා. අවසානයේ රංගනය මගේ වෘත්තිය වුණා.

ගීතිකා දැන් විවිධ චරිත හරහා ජනප‍්‍රිය වුණාට ඒ ජනප‍්‍රියත්වයේ වාසනාව ගෙනාවේ සුදු හාමිනේ චරිතය නේද?

ඇත්තටම ඔව්. ඒත් සුදු හාමිනේ කියන්නේ රංගන ජීවිතේ මගේ පළමු අත්දැකීම නෙවෙයි. සිහින කිරිල්ලි තමයි මගේ පළමු අත්දැකීම. ඒත් ඒක විකාශනය වුණේ නැහැ. ඊට පස්සේ අංකල් සෑම් ටෙලිනාට්‍යයේ රඟපෑවා. කොච්චර චරිත කළත් සුදු හාමිනේ තමයි මාව පේ‍්‍රක්ෂකයා අතරට ගෙනාවේ.

උපාධියකුත් තියාගෙන රංගනය වගේ ක්ෂේත‍්‍රයක් තෝරාගද්දි මොකද හිතුනේ?

ඔව්, මම කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කාලෙදිත් මම යාළුවෝ එක්ක කියපු දෙයක් තමයි, මම මේ මහන්සිවෙලා ඉගෙන ගත්තට රැුකියාවක් නම් කරන්නේ නැහැ කියලා. මගේ හිතේ තිබ්බේ අරයා වෙන්න මෙයා වෙන්න නෙමෙයි. මට ඕන වුණේ ගෙදර වැඩ කරගෙන ඉන්න හොඳ බිරිඳක් වෙන්න. රස්සාවක් කරන්නේ නැත්නම් නිදහස් අධ්‍යාපනේ සල්ලි විනාශ කරන්නේ නැතුව ගෙදර නවතින්න කියලා ඒ දවස්වල මගේ යාළුවෝ මට හරියට බැන්නා.

රංගනයෙන් ඉවත් වෙලා උපාධියෙන් වැඩක් ගත්තොත් හොඳයි කියලා හිිතෙන්නේ නැද්ද?

මැරෙනකම්ම උදේ ගිහින් හවස එන රස්සාවල් කරන්න මම කැමති නැහැ. විශේෂයෙන් මට රස්සාවල් ගැලපෙන්නේ නැහැ. රංගනය වෙනුවෙන් කැප කිරීමක් කරන්න මම කැමැතියි.

රංගනය වෙනුවෙන් ඕනැම කැප කිරීමක් කරන්න ලෑස්ති ද?

මම කියන පුද්ගලයාට හරියන්නේ නැහැ කියලා හිතෙන චරිත මම කෝටියක් දුන්නත් කරන්නේ නැහැ. සිනමාවෙනුත් මට ගොඩක් නිර්මාණ මඟහැරෙන්නේ මට හරියන චරිත ලැබෙන්නේ නැති නිසා. මට කොහොමත් එකපාර පිම්බෙන්න ඕන නැහැ. දැනට ලැබෙන වැඩ ටික කරගෙන හිටියම හොඳටම ඇති.

ගීතිකාගේ රංගන කටයුතුවලට සැමියාගෙන් සහයෝගයක් ලැබෙනවා ද?

අම්මේ ඔව්. සමහර දවසට මම රූගත කිරීම් ඉවර වෙලා ගෙදර එනකොට කෑම පවා හදලා තියෙනවා. ඔහු වගේ සැමියෙක් ලබන්න මම ගොඩක් පින් කරලා තිබෙනවා.

නිරූපණ ක්ෂේත‍්‍රයේ වැඩවලට දැන් ලොකු දායකත්වයක් නැද්ද?

නිරූපණ පැත්තට ලොකු කාලයක් කැප කරන්න අමාරුයි රංගන කටයුතුත් එක්ක. ඒත් හොඳ නිර්මාණයක් ලැබුණොත් වෙළෙඳ දැන්වීම්වලට දායක වෙනවා.

පහුගිය කාලේ ගීතිකා අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා අධ්‍යක්ෂවරුන්ට ආරංචි වෙලා නිර්මාණ කිහිපයකුත් නැති වුණා කියලා ආරංචියි?

අනේ ඕවා බොරු ගොසිප් අනේ. අපි දෙන්නා තවම දරු සුරතල් බලන්න හිතලවත් නැහැ. අලූත විවාහ වුණ අයව අධ්‍යක්ෂවරු මෙගා ටෙලිනාට්‍යවලට දායක කරගන්න හරිම බයයි අතරමගදී නතර වුණොත් කියලා. ඔය බොරු ගොසිප් ප‍්‍රචාරය කරලා මට එහෙම සිදුවීම් කිහිපයක්ම වුණා.

නදීශා අතුකෝරළ


© Copyright (2012) * Lanka Hot News* All Rights Reserved.